මුස්ලිම් ස්ත්‍රීන් තම ශරීරය වස්ත්‍රවලින් ආවරණය කිරීම (එනම් අබායා වස්ත්‍රය ඇඳීම)

මුස්ලිම් ස්ත්‍රීන් තම ශරීරය වස්ත්‍රවලින් ආවරණය කිරීම (එනම් අබායා වස්ත්‍රය ඇඳීම)

     මුස්ලිම් ස්ත්‍රීන් තමන්ගේ ශරීරයේ අවයවයන්ගෙන් වැඩි කොටසක් කළු පැහැති රෙදිවලින් නැත්නම් අනෙක් පාට රෙදිවලින් ආවරණය කිරීම සමහර මුස්ලිම් නොවන්නන්ගේ විවේචනයට ලක් වී ඇති තවත් විෂයයකි.

      ඉස්ලාමයේ ඉගැන්වීම් ගත් කල, ඉස්ලාමය ‘නැමදුම් කටයුතු’ පමණක් ගැන කථා කරන ආගමක් නොවේ. ස්ත්‍රියක් කෙසේ තම ශරීරයේ අවයවයන් වස්ත්‍රවලින් ආවරණය කරගත යුතුද? යන්නද කුර්ආනයේ පවසා ඇත. ගැහැණියව හා පිරිමියාව මැව්වේ ඔවුන්ගේ මැවුම්කරුවා වන අල්ලාහ්ය. එහෙයින් ස්ත්‍රියක් දුටු කල, පිරිමියෙකුට ඇති වන සිතිවිලි, ගැහැණියකගේ අවයවයවන් දුටු කල එයින් පිරිමියා ලබන ආශ්වාදය මේ සියල්ලම ගැන අල්ලාහ් හොඳින් දනියි.

      වර්තමානයේ තිරගත වන බොහෝ චිත්‍රපටවල ගැහැණුන්ගේ අඩ නිරුවත් දර්ශණ අඩංගු වී තිබීම දැකිය හැකිය. මෙවැනි දර්ශණ නොමැති නම්, පිරිමි ප්‍රේක්ෂකයින්ගේ සංඛ්‍යාවෙහි අඩුවීමක් දැකිය හැකිය. හේතුව චිත්‍රපට නිපදවීම තුළින් බොහෝ අවස්ථාවල ධනය ඉපැයීමක් අපේක්ෂා කෙරේ.

      ගැහැණියගේ සමහර අවයවයන් දැකීමෙන් පිරිමියා යම් ආශ්වාදයක් ලබයි. මෙසේ ආශාවෙන් ඇවිස්සූ ඔහු සමහර විටෙක මෙම කාර්යය ක්‍රියාවට නැංවීමටද උත්සාහ දරයි.

       ලංකාවේ දුම්රියවල, සත්ව උද්‍යානයේ සමහර තැන්වල, එමෙන්ම උද්භිද උද්‍යානවල ‘විනීතව හැසිරෙන්න’ යන පාඨ සහිත පුවරු දැකිය හැකිය. ඇත්ත වශයෙන්ම මෙය නීත්‍යානුකූල අඹු සැමි සම්බන්ධකම් පවත්වන්නන්ට අදාල නොවන්නේය. හේතුව ඔවුන්ට එසේ හැසිරීමේ අවශ්‍යතාවයක් බොහෝ සේ ඇති නොවන්නේය. නමුත් බටහිර සමාජයේ නීත්‍යානුකූල අඹු සැමියන්ද මෙසේ අන් අය ඉදිරිපිට හැසිරීම දැකිය හැකිය. එය ඔවුන්ගේ සංස්කෘතිය වීම එයට හේතුව වේ. මෙසේ අවිනීතව හැසිරීම මුස්ලිම් නොවන සමාජයද වැරැද්දක් ලෙස දකින බවක් මෙයින් පෙනේ.

 ගැහැණුන්ගේ අලංකාරය පෙන්වීම ගැන කුර්ආනය කුමක් පවසයිදැ? යි බලමු.

(ඕ:නබි!) ඔබ විශ්වාසවන්ත ගැහැණුන් හමුවෙහි, ඔවුන් තමන්ගේ බැලුම් පහත් කරගත යුතු යැයිද, තමන්ගේ පතිවත රැකගත යුතු යැයිද, ඔවුන්ගේ අලංකාරයෙහි පිටතට පෙනෙන දේ හැර ඔවුන් වෙන කිසිවක් හෙළි නොකළ යුතු යැයිද, තමන්ගේ හිස් වැසුම් වස්ත්‍රය තමන්ගේ පියයුරු මත දමාගන්නා ලෙසද ඔවුනට පවසන්න! තවද, ඔවුන් තමන්ගේ අලංකාරය තමන්ගේ ස්වාමි පුරුෂයින් හෝ තමන්ගේ පියවරුන් හෝ තමන්ගේ ස්වාමි පුරුෂයින්ගේ පියවරුන් හෝ තමන්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ ස්වාමි පුරුෂයින්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ සහෝදරයින් හෝ තමන්ගේ සහෝදරයින්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ සහෝදරියන්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ ගැහැණුන් හෝ තමන්ගේ වහලුන් හෝ ගැහැණුන් කෙරෙහි ඇල්මක් නැති (ඔවුනට) සමීපව ජීවත් වන (මහලු)  පිරිමින් හෝ ගැහැණුන්ගේ රහස් ස්ථාන ගැන අවබෝධ නොකරගත් කුඩා ළමුන් යනාදීන් හමුවෙහි හැර අනෙක් අය හමුවෙහි හෙළි නොකළ යුතුය. තමන් වසාගෙන සිටින තමන්ගේ අලංකාරය දන්වනු ලැබීම පිණිස තමන්ගේ පාදවලින් තට්ටු කිරීමද නොකළ යුතුය. විශ්වාසවන්තයිනි! ඔබලා ජය ලැබීම පිණිස ඔබලා සියලුදෙනාම අල්ලාහ්ගෙන්ම පාපවලට සමාව අයදින්න.(ශු.කු. 24:31)

ඔවුන් තමන්ගේ බැලීම් පහත් කරගත යුතු යැයිද, තමන්ගේ පතිවත රැකගත යුතු යැයිද (නබි) ඔබ විශ්වාසවන්ත පිරිමින්ට පවසන්න! මෙය ඔවුනට වඩාත් පිරිසිදු වේ. නියතව ඔවුන් කරන දේ ගැන අල්ලාහ් හොඳින් දන්නාය. (ශු.කු.24:30)

       විශ්වාස කළ පිරිමින්ද තමන්ගේ බැලුම් පහත් කරගත යුතු යැයිද පතිවත රැකගත යුතු යැයිද 24:30 වන වැකිය පවසයි. බැලුම් පහත් කරගත යුතුයි යන්නෙහි අදහස බිම බලාගෙන ගමන් කළ යුතුය යන්න නොවේ. කුර්ආනයේ සමහර වැකි යම් යම් විෂයන් ගැන කෙටියෙන් පවසන තත්වයක පවතියි. බැලීමට නුසුදුසු දර්ශණයක් අනපේක්ෂිතව දැකීමට සිදුවූයේ නම්, නැත්නම් තමා ඉදිරියෙහි ඉස්ලාමය අනුමත නොකරන දර්ශණයක් පෙනෙන්නට ඇත් නම්, එදෙස නොබලා තමාගේ බැල්ම පහත් කරගත යුතුය යන්න එහි අර්ථය වේ.

         කුර්ආනයේ 24 වන පරිච්ඡේදයේ 30, 31 යන වැකි අන්‍ය පිරිමි ගැහැණු බැලුම් සම්බන්ධව නීති රීති ගණනාවක් පවසයි. සමාජයේ පැවැත්ම එනම් සාමයෙන් ජීවත්වීම, අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීමේ අවකාශ වසා දැමීම යන කාරණා මුල් කරගෙන ඉස්ලාමය මෙම නීති පනවා ඇත. 24:31 වන වැකියේ එක් එක් වගන්තිය දෙස දැන් බලමු.

 

1.(ඕ:නබි!) ඔබ විශ්වාසවන්ත ගැහැණුන් හමුවෙහි, ඔවුන් තමන්ගේ බැලුම් පහත් කරගත යුතු යැයිද, .(ශු.කු.24:31)

      ඉහත වගන්තියෙන්, තමන්ගේ බැලුම් පහත් කරගත යුතු යැයි විශ්වාසවන්ත ගැහැණුන් හමුවෙහි පවසන ලෙස අල්ලාහ් තම නබිවරයාට අණ කරයි.

     අල්ලාහ් සිටින බව, මලක්වරුන් සිටින බව, අල්ලාහ් විසින් වේදක පහළ කළ බව හා අවසාන වේදකය කුර්ආනය බව, අල්ලාහ් විසින් දූතයින් යවනු ලැබූ බව හා මුහම්මද් (සල්) තුමා ඔවුන්ගෙන් අවසාන දූතයා බවද, එලෝ දිනයක් ඇති බවද, යහකම් හා අයහකම් සියල්ල අල්ලාහ්ගේ අනුමැතිය ඇතිවම සිදු වේ යැයි සැකයෙන් තොරව විශ්වාස කර, එම විශ්වාසය තමන්ගේ ක්‍රියාවල ප්‍රායෝගිකව පෙන්වන ගැහැණුන් විශ්වාසවන්ත ගැහැණුන් යන ඝණයට ඇතුලත් වේ.

         විශ්වාසවන්ත ගැහැණුන් තමන්ගේ බැලුම් පහත් කරගත යුතු බව ඉහත වගන්තිය පවසයි. එනම් ඉස්ලාමය අනුමත නොකරන දර්ශණ නොබැලිය යුතු බවද, අනපේක්ෂිතව එවැනි දර්ශණයක් දුටුවේ නම්, නැවත නොබලා තමන්ගේ බැලුම් පහත් කරගත යුතු යැයිද මෙම වැකිය පවසයි. උදාහරයක් වශයෙන් ගත් කල, පිරිමියෙක් ගැහැණියකව සිප ගැනීම වැනි දර්ශණයක් දුටුවේ නම් එය දෙස නොබලා තමන්ගේ බැලුම් පහත් කරගත යුතුය. මෙමගින් ඇයට ඇයව ආරක්ෂා කරගත හැකිය. එදෙස නොබැලීමෙන් ඇයගේ ආශාව ඇවිස්සීමක් සිදු නොවේ. එහෙයින් නුසුදුසු මාර්ගයන්හි නොයා ඇය ඇයව ආරක්ෂා කරගන්නීය. මෙය සමාජයේ පැවැත්ම වෙනුවෙන් ඉස්ලාමය දෙන උපදෙසකි.

        බාල වියේ පසුවන ළමෝ ඉන්ටර් නෙට් හරහා ආරම්භකව නුසුදුසු දර්ශණ බැලීමට ප්‍රිය කරති. මෙය වර්ධනය වීම හේතුවෙන් ඔවුහු සමහර වැරදි ක්‍රියාවල යෙදෙති. ඔවුන් කළ මුල්ම වැරැද්ද නුසුදුසු දර්ශණ බැලීම වේ. මේ හේතුව නිසාම කුර්ආනය  නුසුදුසු දේ බැලීමේ මෙම වැරැද්ද නොකරන ලෙස පළමුව උපදෙස් දෙයි.

2. තමන්ගේ පතිවත රැකගත යුතු යැයිද, .(ශු.කු.24:31)

        ස්ත්‍රියක් තමාගේ පතිවත රැකීම යහපත් ක්‍රියාවක් යන්නෙහි කිසිදු තර්කයක් නොමැත. නමුත් නොහොබිනා දර්ශණ බැලීමෙන් වැළකී සිටීම, ස්ත්‍රියක් තමාගේ පතිවත රැකගැනීමට රුකුලක් වේ. විවාහ වූ මෙන්ම විවාහ නොවූ ස්ත්‍රීන් යන දෙකොටසම මෙවැනි දර්ශණ බැලීමෙන් වැළකී සිටිය යුතුය.

 3. ඔවුන්ගේ අලංකාරයෙහි පිටතට පෙනෙන දේ හැර ඔවුන් වෙන කිසිවක් හෙළි නොකළ යුතු යැයිද, (ශු.කු.24:31)

        ස්ත්‍රියකගේ අලංකාරය පෙන්වන සමහර අවයවයන්ව අන් පිරිමින්ට නොපෙන්විය යුතු බව මෙම වගන්තිය පවසයි. මෙම විෂයයේදී මුස්ලිම්වරුන් අතර දෙආකාරයක මතයක් පවතියි.

        මුස්ලිම් ස්ත්‍රිය තම මුහුණ හා අතෙහි මැණික් කටුවේ සිට ඇඟිලි  දක්වා වූ කොටස වැසීම අනිවාර්ය නොවේ, ඉතිරි කොටස් සියල්ල ආවරණය කළ යුතුය  යන්න ඉන් එක් මතයකි.

        මුහුණ හා මැණික් කටුවේ සිට ඇඟිලි  දක්වා වූ කොටස ආදී සියලුම කොටස් ආවරණය කළ යුතුය යන්න අනෙක් මතය වේ.

      ස්ත්‍රියකගේ අවයවයන් දැකීමෙන් පිරිමියාගේ ආශාව ඇවිස්සීමක් ඇති වේ. මෙවැනි තත්වයක් ඇතිවීම පිරිමියාට මෙන්ම එම ගැහැණියටද අනතුරුදායකය. දෙදෙනාවම ආරක්ෂා කරගැනීම පිණිස ඉස්ලාමය මෙසේ උපදෙස් කරයි. නමුත් අඹු සැමි දෙදෙනා තනිව සිටින කල, මෙවැනි සීමා කිරීමේ නීතියක් ඉස්ලාමය නොපවසයි. නමුත් එම දෙදෙනා අන් පිරිමියෙක් සමඟ සිටින්නේ නම් නැත්නම් අන් අය හමුවෙහි සිටින්නේ නම්, එම ස්ත්‍රියද මෙය පිළිපැදිය යුතුය. ස්ත්‍රියකගේ අයිතිවාසිකමේ අත පෙවීමක් ලෙස සමහරු මෙම ඇඳුම විවේචන කරති. මෙය ස්ත්‍රියකගේ අයිතිවාසිකමෙහි අත පෙවීමක් නොවන්නේය. මෙම නීතිය සියලුම ස්ත්‍රීන්ට නොවේ. මෙය අල්ලාහ්ව විශ්වාස කළ ස්ත්‍රීන්ට පැනවූ නීතියකි. කෙනෙක් ඉස්ලාමයට පිවිසීමට පෙර එහි නීති රීති ගැනද දැනගත යුතුය. එම නීති පිළිපැදීමට කැමති නම් ඉස්ලාමයට ඇතුළු විය හැකිය. මෙම කාර්යයේදී බල කිරීමක් නොමැත. ඉස්ලාමයේ යම් යම් නීති පමණක් පිලිපදින්නෙමි යන තත්වයක කිසිවෙකුටත් ඉස්ලාමයට ඇතුළු විය නොහැකිය. මුස්ලිම්වරයෙකුට ඉස්ලාමයේ පවතින කිසිදු  නීතියක් ප්‍රතික්ෂේප කළ නොහැකිය. කෙනෙක් එසේ යම් නීතියක් ප්‍රතික්ෂේප කරයි නම් ඔහු මුස්ලිම්වරයෙකු නොවේ යන තත්වයට පත්වන්නේය.

         එක්තරා ඔලිම්පික් තරඟයකදී ස්ත්‍රීන් කීප දෙනෙක් තමන්ගේ උඩුකය විවෘත තත්වයෙන් එම භූමියට පැමිණියහ. එසේ පැමිණි ස්ත්‍රීන්ගේ උඩුකය වස්ත්‍රයකින් ආවරණය කර, ඔවුන්ව එම භූමියෙන් ඉවත් කිරීමේ සිදුවීමක්ද මෑතකදී දක්නට ලැබුනි. එය ඔවුන්ගේ නිදහසක් යැයි සමහරෙකුට කිවහැකිය. නිදහස භුක්ති විඳීමේදී අන් අයට අයහපතක් හෝ බාධාවක් හෝ සිදුනොවිය යුතුය. තැනැත්තියක් අන් පිරිමින්ගේ ආශාවන් ඇවිස්සෙන ආකාරයෙන් වස්ත්‍ර හැඳ අන් පිරිමින් හමුවෙහි පෙනී සිටීම අනෙක් පිරිමින්ව අයහපත් ක්‍රියාවලට පෙළඹවීමේ ක්‍රියාවක් වන්නේය. මෙනිසාම ඉස්ලාමය මෙය වළක්වයි.

        ස්ත්‍රියකගේ අවයවයන්වල හැඩය පෙනෙන ආකාරයේ ඇඳුම් ඇඳීමද ඉස්ලාමය අනුමත නොකරයි. එමෙන්ම අවයවයන් පෙනෙන ආකාරයේ සිහින් රෙදිවලින් ඇඳුම් ඇඳීමද ඉස්ලාමය අනුමත නොකරයි. අල්ලාහ්ට බිය වී ජීවත්වීමට ප්‍රිය කරන තැනැත්තියක් තමාට අන් පිරිමින්ගෙන් බලපෑමක් ඇතිවීම හෝ අන් පිරිමින්ට තමාගෙන් යම් බලපෑමක් ඇතිවීම ප්‍රිය නොකරන්නීය. එහෙයින් මෙම ශරීර ආවරණය කිසිසේත්ම නිදහසට අතගැසීමක් නොවේ. මෙය සමාජයේ යහපත් පැවැත්මට රුකුලක් වේ. මෙම ක්‍රමය පිළිපැදීමෙන් ස්ත්‍රී දූෂණ හා අනියම් සම්බන්ධතා අඩුවීමක් දැකගත හැකිය.

         බෞද්ධ මෙහෙනින් වහන්සේලාගේ ඇඳුම, බොහෝ සෙයින් මුස්ලිම් ස්ත්‍රියකගේ ‘අබායා’ ඇඳුමට සමාන තත්වයක පවතියි. හිස ආවරණය කර නොමැතිව සිටීම පමණක් වෙනසකට ඇත.

         එමෙන්ම ක්‍රිස්තියානි ‘සිස්ටර්’ලාගේ ඇඳුමද බොහෝ සෙයින් ‘අබායා’ ඇඳුමට සමාන තත්වයක පවතියි. පාදයේ කොටසක් විවෘතව තිබීම වෙනසකට ඇත.

       ආගමික උපදේශිකාවන්ට යැයි එක ඇඳුමක් හා අන් අයට තව ඇඳුමක් යැයි ඉස්ලාමයේ නොමැත. විශ්වාස කළ ස්ත්‍රීන්ට යැයි ඉස්ලාමය මෙම නීතිය සියලුම මුස්ලිම් ස්ත්‍රීවරුන්ට යැයි පොදුවේ පවසයි.

 4. තමන්ගේ හිස් වැසුම් වස්ත්‍රය තමන්ගේ පියයුරු මත දමාගන්නා ලෙසද ඔවුනට පවසන්න! .(ශු.කු. 24:31)

       මුස්ලිම් ස්ත්‍රියක් තමාගේ හිසද ආවරණය කළ යුතුය. කේෂාලංකාරය යැයි කේෂය ගැන වර්ණනා කිරීමක් සාහිත්‍ය පොත්වල දැකිය. මෙසේ හිස ආවරණය කරන වස්ත්‍රය මගින් තමන්ගේ පියයුරු ආවරණය කරගන්නා ලෙසටද මෙම වැකිය පවසයි. මුස්ලිම් ස්ත්‍රියක් තමාගේ පියයුරුවල හැඩය අන් පිරිමින්ට පෙන්වීම තහනම්ය. මෙසේ පෙන්වීමෙන් පිරිමින්ගේ ආශා ඇවිස්සීමට අවකාශ ඇත. එවැනි අවස්ථාවල එම තැනැත්තියටද අනතුරක් සිදුවීමට ඉඩ ඇත. එමෙන්ම එම පිරිමියාගේ ආශාව ඇවිස්සීම හේතුකොටගෙන ඔහුද වැරදි මාර්ගවල යෑමට ඉඩ  ඇත. එහෙයින් පියයුරු හා පියයුරුවල හැඩය අන් පිරිමින්ට නොපෙනෙන ආකාරයට තිබීමෙන් එම ස්ත්‍රියද ආරක්ෂා වන්නීය. අන් පිරිමීහුද ආරක්ෂා වන්නෝය.

 5. මුස්ලිම් ස්ත්‍රීන්ට තමන්ගේ අලංකාරය කවුරුන් හට පෙන්විය හැකිදැ යි දැන් බලමු.

තවද, ඔවුන් තමන්ගේ අලංකාරය තමන්ගේ ස්වාමි පුරුෂයින් හෝ තමන්ගේ පියවරුන් හෝ තමන්ගේ ස්වාමි පුරුෂයින්ගේ පියවරුන් හෝ තමන්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ ස්වාමි පුරුෂයින්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ සහෝදරයින් හෝ තමන්ගේ සහෝදරයින්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ සහෝදරියන්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ ගැහැණුන් හෝ තමන්ගේ වහලුන් හෝ ගැහැණුන් කෙරෙහි ඇල්මක් නැති (ඔවුනට) සමීපව ජීවත් වන (මහලු)  පිරිමින් හෝ ගැහැණුන්ගේ රහස් ස්ථාන ගැන අවබෝධ නොකරගත් කුඩා ළමුන් යනාදීන් හමුවෙහි හැර අනෙක් අය හමුවෙහි හෙළි නොකළ යුතුය. (ශු.කු.24:31)

         තමාගේ ස්වාමි පුරුෂයා, තමාගේ පියා, තමාගේ ස්වාමි පුරුෂයාගේ පියා, තමාගේ පිරිමි දරුවන්, තමාගේ ස්වාමි පුරුෂයාගේ පිරිමි දරුවන් (එනම්, ස්වාමි පුරුෂයාගේ තවත් විවාහයක් හේතුවෙන් ලැබුන පිරිමි දරුවන්) , තමාගේ සහෝදරයින්, තමාගේ සහෝදරයින්ගේ පිරිමි දරුවන්, තමාගේ සහෝදරියන්ගේ පිරිමි දරුවන්, තමාගේ ගැහැණුන්, තමාගේ වහලුන්, ගැහැණුන් කෙරෙහි ඇල්මක් නැති එමෙන්ම ඔවුන්ට සමීපව ජීවත් වන මහලු පිරිමීන්, ගැහැණුන්ගේ රහස් ස්ථාන ගැන අවබෝධයක් නැති කුඩා ළමුන් හමුවෙහි හැර අන් අය හමුවෙහි තමාගේ අලංකාරය පෙන්වීම මුස්ලිම් ස්ත්‍රියකට තහනම්ය.

      තමාගේ ශරීරයේ අවයවයන් වස්ත්‍රවලින් ආවරණය කරමින් සිටින මුස්ලිම් කාන්තාව දෙස බලන අන් පිරිමියෙකුගේ ආශාව ඇවිස්සීමක් සිදු නොවේ. මේ හේතුවෙන් ඇය දෙස බලන පිරිමියා හා ඇය තමන්ව ආරක්ෂා කරගන්නෝය.

           තදට නැත්නම් හිරට නොහැඳ සිටින මුස්ලිම් කාන්තාවක් දෙස බැලීමේදීද ආශාව ඇවිස්සීමක් සිදු නොවේ. එමෙන්ම අවයවයන් පෙනෙන සිනිඳු රෙදිවලින් නොහැඳ සිටින මුස්ලිම් කාන්තාවක් දෙස බැලීමේදීද ආශාව ඇවිස්සීමක් සිදු නොවේ. මේ හේතුවෙන් පිරිමියාද රැකෙයි. ගැහැණියද රැකෙයි. එහෙයින් මෙසේ ආවරණය කර ඇඳීමෙන් සමාජයට  යහපතක්ම සිදු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *