කුර්ආනයේ සිංහල පරිවර්තනය ගැන

කුර්ආනයේ සිංහල පරිවර්තනය ගැන…….

          කුර්ආනයේ මූල භාෂාව අරාබි භාෂාව වේ. එහෙයින් කුර්ආනයේ වැකිවල අර්ථය සිංහල බසින් කියවා වටහාගැනීමට උත්සාහ කරන අයට උපකාරයක් ලෙස මෙම පරිවර්තනය සිදු කර ඇත.

           කුර්ආනයේ ඇති අරාබි වචනවලට සිංහල අර්ථ දැක්වීමේදී එකම වචනයට එකම අර්ථයක් දැක්වීමට හැකි පමණින් මෙම පරිවර්තනයේදී උත්සාහ දරා ඇත. එමෙන්ම කුර්ආනයේ ඇත්තේ අල්ලාහ්ගේ කීම පමණකි. එහි කිසිදු ස්ථානයක මිනිස් අදහස් දැක්වීමක් හෝ මිනිස් වැකියක් හෝ ඇතුලත් කර නොමැත. එහෙයින් අරාබි බසින් යුක්ත වූ මෙම කුර්ආනයේ වැකි කවර ශෛලියකින් පවසා ඇත්තේද එම ශෛලීයයට අනුවම පරිවර්තනයද සිදු කර ඇත.   එමෙන්ම මෙම පරිවර්තනයෙහි සමහර ස්ථානවල වරහන් යොදා ඇත. කුර්ආනයේ මූල භාෂාව වන අරාබියෙහි නොමැති වචන කීපයක් හෝ වචනයක් වරහන් යොදා පරිවර්තනය කර ඇත. එය එම වැකිය වටහාගැනීමට උපකාරයක් වේ.

             කුර්ආනය ගැන මනා අවබෝධයක් නොමැති අයට එය කියවීමේදී ඇතිවන අපහසුතාවයන් මඟ හැරවීම පිණිස සමහර ස්ථානවල කුඩා අංක යොදා ඇත. මෙම කුඩා අංකවලට  ‘ලුහුඞු සටහන්’ යන කොටසෙහි පැහැදිලි කිරීම් කර ඇත. මෙම අංකවලට දෙනු ලබන පැහැදිලි කිරීම් තුළින් එම වචනය හෝ එම වැකිය ගැන හෝ අවබෝධයක් ලබාගත හැකිය.

             කුර්ආනය ගත් කළ එය පහළවූයේ අරාබි බසිනි. එහෙයින් කුර්ආනයේ මූල භාෂාව අරාබි භාෂාව වේ. අරාබි බසින් යුක්ත වූ කුර්ආනයේ අර්ථ සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේදී සමහර අරාබි වචනවලට උචිත සිංහල වචන නොමැති බව පෙනෙන්නට ඇත. සමහර අවස්ථාවල අරාබි භාෂාවෙන් පවසනු ලබන වචනවල අර්ථවලට ඉතාමත් සමීප සිංහල වචන යෙදීමේදීද පවා මූල භාෂාව වන අරාබියෙන් පවසනු ලබන අර්ථය නිසියාකාරව ගැන හැර දැක්වීමක් සිදු නොවේ. එනිසා මෙවන් අවස්ථාවන්හිදී අරාබි වචනය එලෙසම යොදා ඇත. එහෙයින් මෙසේ සඳහන් කර ඇති අරාබි වචනවලට යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වී ඇත. ලුහුඞු සටහන් යන කොටස යටතේ මෙම වචනවල අර්ථය වටහාගත හැකිය.

              එමෙන්ම කුර්ආනයේ ඇති වැකි ගැඹුරු අර්ථවලින් යුක්ත ඒවා වේ. මිනිස් වර්ගයාගේ සැබෑ මැවුම්කරුවා වූ අල්ලාහ් මිනිස් වර්ගයාට වඩා සියලුම පැතිවලින් අති උතුම් බව ඇත්තාය. මේ හේතුවෙන් ඔහු විසින් පවසනු ලැබූ වදන්ද ගැඹුරු අර්ථවලින් යුත් වැකි වේ. එහෙයින් සමහර අවස්ථාවල මෙම වැකි ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේය.

ලුහුඞු සටහන්

          මෙම කුර්ආනයේ භාවිතා කර ඇති අරාබි වචනවල හා ඉස්ලාමීය වදන්වල අර්ථ ගැන සරල පැහැදිලි කිරීමක් ‍මෙහි දැක්වේ. කුර්ආනය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේදී, සමහර අවස්ථාවලදී කුර්ආනයෙන් පවසනු ලබන වචනයෙහි අර්ථය නිසියාකාරව පැවසෙන සිංහල වචන නොමැති බව පෙනේ. එවැනි අවස්ථාවල එම අරාබි වචනයම යොදා ඇත. උදාහරණයක් වශයෙන් ගත් කල, මුස්ලිම්වරු පල්ලිවලට ගොස් එක්තරා ආකාරයක නැමදුමක් කරති. එයට සලාත් යැයි අරාබියෙන් පවසනු ලැබේ. මෙම සලාත් යන අරාබි වචනය වෙනුවට සමහර පරිවර්තනවල  නැමදුම, වන්දනය, වැඳීම, නමස්කාරය යන වචනද යොදා ඇත. සලාත් යන වචනයෙන් කියවෙන නැමදුමක් මුස්ලිම් නොවන අන් සමාජවල දක්නට නොමැත. මෙම සලාත් යන නැමදුම මුස්ලිම් සමාජයට පමණක් ආවේනික වූ නැමදුකි. එහෙයින් මෙම සලාත් යන අරාබි වචනයට සලාතය යැයි යොදා ඇත.

        එමෙන්ම කුර්ආනයේ මූල භාෂාව අරාබි භාෂාව වේ. එහෙයින් කුර්ආනය ආරම්භකව කියවන නැත්නම් කුර්ආනය ගැන මනා අවබෝධයක් නොමැති අයට උපකාරයක් වශයෙන් අවශ්‍ය යැයි හැඟෙන ස්ථානවල කෙටි විග්‍රහ කිරීමක් කර ඇත. මෙවැනි ස්ථානයන්හිද අංක කුඩාවට දක්වා ඇත.

1.අල්ලාහ් – මුස්ලිම්වරුන් නැමදුම් කරනුයේ අල්ලාහ් නම් දෙවියාට පමණක්මය. මෙය මුස්ලිම් නොවන්නන්ගේ  වචනවලින් කිවහොත්, මුස්ලිම්වරුන්ගේ එකම දෙවියා අල්ලාහ්ය. අල්ලාහ්ගේ ගුණ විදහා දක්වන වෙනත් ගුණ නාමයන්ද අල්ලාහ්ට ඇත. අසීමිත කරුණාවන්තයා, අසම දයාවන්තයා යන නාමයන්ද එයින් දෙකකි.

2.වේදකය – මිනිසා අල්ලාහ් විසින් මවනු ලැබූ සත්වයෙකි. මිනිසා ලොවේ කෙසේ ජීවත් විය යුතුද යන විෂයය මලක්වරුන් එනම් දේව දූතයින් මාර්ගයෙන් මිනිස් දූතයින්ට එනම් රසූල්වරුන්ට ඒ ඒ කාලවලදී අල්ලාහ් විසින්ම දන්වන ලදී. මෙසේ අල්ලාහ් විසින් දන්වනු ලැබූ පණිවුඩවල එක් කිරීමකට නැත්නම් එකතුවකට නැත්නම් අල්ලාහ් විසින් එක්වැරින්ම දන්වන ලද පණිවුඩවලට වේදක යැයි පවසනු ලැබේ. එහෙයින් මිනිසා තමාට දන්වනු ලැබූ වේදකයේ මඟ පෙන්වීමට අනුවම ජීවත් විය යුතුය. මිනිස් සමාජයේ ආරම්භයේ සිටම අල්ලාහ් විසින් පහළ කරනු ලැබූ සියලුම වේදක පසු කාලවලදී එනම් මිනිස් දූතයින්ගේ මරණයෙන් පසුව වෙනස්වීම්වලට ලක් විය. කලින් කලට (මිනිස්) දූතයින් ජනයා හමුවට පැමිණි හෙයින් එසේ පැමිණි දූතයා පෙර තිබූ වේදකයේ සිදු වූ වෙනස්වීම ගැනද එම ජනයාට දැන්වීය. නමුත් අවසාන දූතයා වන මුහම්මද් (සල්) තුමාට පසුව දූතයෙක් නොපැමිණෙන හෙයින් අවසාන වශයෙන් පහළ වූ වේදකය වන කුර්ආනය වෙනස් නොවන ආකාරයට අල්ලාහ් එය ආරක්ෂා කරන තත්වයක් ඇති කළේය. එහෙයින් වෙනස්කිරීම්වලට භාජනය නොවූ වර්තමානයේ පවතින එකම වේදකය කුර්ආනය පමණක්ම වේ.

         එහෙයින් කුර්ආනයෙහි සමහර ස්ථානවල වේදකය යැයි කුර්ආනයට පමණක් පවසා ඇත. නමුත් තවත් සමහර ස්ථානවල කුර්ආනයට පෙර පහළ වූ අනෙක් වේදකවලට වේදක යැයි පවසා ඇති බවක් පෙනේ. කෙසේ වෙතත් වැකිය කියවීමේදී මෙම වෙනස වටහාගත හැකිය. සමහර ස්ථානවල කුර්ආනය ඇතුළු අල්ලාහ් විසින් පහළ කළා වූ අනෙක් වේදකවලට, වේදක යන්න යොදා ඇත.

          කුර්ආනයෙහි සමහර ස්ථානවල වේදකය යන්නට සාක්ෂිය යන වචනයද උපයෝගී කර ඇත. එනම් කුර්ආනයේ වැකි යම් යම් දේ සනාථ කරන වැකි නිසා කුර්ආන් වැකිවලට සාක්ෂි යන වචනය උපයෝගී කර ඇත.

         තවද අල්ලාහ්ගේ පණිවුඩවලට අරාබියෙන් වහී යැයි පවසනු ලැබේ. ක්‍රිස්තියානි සමාජයට මෙන්ම යුදෙව් සමාජයටද අල්ලාහ් විසින් දූතයින් යවනු ලැබුවේය. මෙම දූතයින්ට අල්ලාහ් විසින් වේදක පහළ කරන ලදී. එහෙයින් කුර්ආනයෙහි මෙම සමාජ දෙක, වේදක ඇත්තන් යැයිද, සමහර අවස්ථාවල වේදක දෙනු ලැබූවන් යැයිද  සඳහන් කරන බවක්ද පෙනේ.

       තව්රාතය හා ඉන්ජීලයද කුර්ආනයට පෙර වූ වේදක දෙකකි. තව්රාතය (ටෝරා) නැමති වේදකය මූසා (මෝසස්) නම් නබිවරයාට දෙනු ලැබීය. එ‍මෙන්ම ඉන්ජීලය (ගොස්පල්) නම් වේදකය ඊසා (ජේසු) නම් නබිවරයාට දෙනු ලැබීය. නමුත් මෙම වේදක දෙක පසු කලකදී මිනිසුන් විසින් වෙනස් කරනු ලැබූ බවක්ද කුර්ආනය පවසයි.

3.බිය බැතියෝ – පව් කිරීමෙන් ලැබෙන දඞුවම ගැන බියෙන්ද, යහපත් කාර්යන් කිරීමෙන් අල්ලාහ්ගෙන් ලැබෙන කුලිය අපේක්ෂාවෙන්ද කෙනෙක් අල්ලාහ්ව විශ්වාස කර, ජීවත් වෙයි නම් ඔහු බිය බැතියෙකු වේ.

4.යහමඟ – මිනිසා ලොවේ කෙසේ ජීවත් විය යුතුද? යන්න අල්ලාහ් විසින් පහළ කරනු ලැබූ වේදකවල පැහැදිලිව පෙන්වනු ලැබ ඇත. වර්තමානයේ පවතින එකම වේදකය කුර්ආනය පමණක්ම වේ. එහෙයින් කුර්ආනය පෙන්වා ඇති මාර්ගයට යහමඟ යැයි පවසනු ලැබේ.  කුර්ආනයෙහි සමහර ස්ථානවල යහමඟ යන්නට සෘජු මඟ යනුවෙන්ද පවසා ඇත.

5.අදෘශ්‍යමාන දේ – ඇසට නොපෙනෙන දේ යන්න මෙහි භාෂාත්මක අර්ථය වුවද, ඉස්ලාමීය බැල්මෙන් එය යම් යම් විෂයයන් ගැන පවසන්නක් වේ. අල්ලාහ්, අල්ලාහ්ගේ පණිවුඩ ගෙන එන්නන් වන මලාඉකාවරුන් (එනම් දේව දූතයින්), ආරම්භයේ සිට අවසානය දක්වා අල්ලාහ්ගෙන් පහළ වූ වේදක, එම වේදක ලබාගත් අය වන (මිනිස්) දූතයින්, විනිශ්චය දිනය හා සෑම ක්‍රියාවක්ම අල්ලාහ්ගේ අනුමැතිය අනුවම සිදු වේ යන අදෘශ්‍යමාන දේ ගැන වැටහීමක් ඇතිව, මුස්ලිම්වරයෙක් මෙම විෂයයන්ව සැකයෙන් තොරව විශ්වාස කළ යුතුය. එමෙන්ම කෙනෙකුගේ සිතෙහි හටගන්නා සිතිවිලි, හෙට දවසේ කුමක් සිදුවේද? නැත්නම් මතුවට කුමක් සිදුවේද? ඈත අතීතයේ සිදුවූ දේවල නිවැරදි භාවය, අනාගතයේදී සිදුවන කාර්යන්වල ස්වභාවය වැනි කාර්යයන් ගැන මනාව මෙන්ම නිවැරදිව දන්නේ අල්ලාහ් පමණක්මය යන කරුණුද අදෘශ්‍යමාන දේ යන ඝණයට ඇතුලත් වේ. එහෙයින් අදෘශ්‍යමාන දේ ගැන හොඳින් දන්නා අල්ලාහ් පමණක්ම වේ. එසේ වුවද අල්ලාහ් තමා පමණක් දන්නා සමහර අදෘශ්‍යමාන දේ ගැන යම් යම් දේ තමා පහළ කළ වේදකය වන කුර්ආනයේ පවසා ඇත්තේය. එහෙයින් අල්ලාහ් පැවසූ මෙම අදෘශ්‍යමාන කරුණු ගැන අල්ලාහ් පැවසූ ආකාරයටම මුස්ලිම්වරයෙක් විශ්වාස කළ යුතුය. එහි අඩුවැඩිකිරීම් සිදු නොකළ යුතුය. මෙසේ කුර්ආනය ආධාරයට ගෙන අදෘශ්‍යමාන දේ විශ්වාස කරන්නා මු:මීන් නැත්නම් විශ්වාසවන්තයා යන ඝණයට ඇතුලත් වන්නේය.

6.විශ්වාසවන්තයා – කුර්ආනය ආධාරයට ගෙන අදෘශ්‍යමාන දේ විශ්වාස කරන්නා, විශ්වාසවන්තයා යන ඝණයට ඇතුලත්වන්නේය. විශ්වාසවන්තයා යන්නට අරාබියෙන් මු:මින් යැයි පවසනු ලැබේ.

7.සලාතය – ‘අල්ලාහ්ව සිහි කිරීම’ යන කාර්යය සෑම මුස්ලිම්වරයෙක්ම අනිවාර්යයෙන් කළ යුතු කාර්යයකි. යම් යහපත් කාර්යයක් කිරීමේදී කුලිය අල්ලාහ්ගෙන් පමණක් අපේක්ෂා කිරීමද, එමෙන්ම අල්ලාහ්ගෙන් ලැබෙන දඞුවමට බිය වී පව්වලින් ඈත්වීමද ‘අල්ලාහ්ව සිහි කිරීම’ යන ඝණයට ඇතුලත් වේ. එසේ වුවද සමහර අවස්ථාවන්හිදී අල්ලාහ්ව මේ මේ ආකාරයෙන් සිහි කළ යුතු යැයි අල්ලාහ්ගේ දූතයා වන මුහම්මද් (සල්) තුමාගේ මඟ පෙන්වීම්ද ඉස්ලාමයේ දක්නට ඇත. ‘සලාතය’ යන්නද අල්ලාහ්ව සිහි කිරීම පිණිස අල්ලාහ්ගේ දූතයා විසින් පෙන්වා දෙනු ලැබූ නැමදුමකි. මෙය අනිවාර්ය, වෛකල්පික යැයි කොටස් දෙකකි. අනිවාර්ය සලාතය සාමූහිකව ඉටු කිරීම පිණිස මුස්ලිම්වරු දිනකට පස් වතාවක් පල්ලියේ එක්රැස් වෙති. එමෙන්ම දේශනාවකට සවන් දී එම සලාතය ඉටු කිරීම පිණිස මුස්ලිම්වරු සිකුරාදා දිනයෙහි පල්ලියේ එක්රැස් වෙති. මෙම සිහි කිරීමේ කාර්යයට අරාබියෙන් ‘සලාත්’ යැයි පවසනු ලැබේ. මෙම ක්‍රියාව විදහා පෙන්වන සිංහල වචනයක් නොමැති බැවින් එයට ‘සලාතය’ යැයි සඳහන් කර ඇත්තෙමු. කෙනෙක් සලාතයෙහි යෙදෙන විට රුකූඋ යන අවස්ථාවද ඉටු කළ යුතුය. සුජූද් යන්න, දණහිස් දෙක බිම තබා තම පහත්භාවය පෙන්වීම වේ. කෙනෙක් සලාතයෙහි යෙදෙන විට සූජූද් කිරීමද කළ යුතුය.

8.නබි – නබි යන පදය අරාබි පදයකි. අල්ලාහ්ගෙන් ලැබුන පණිවුඩය ජනයාට දැනුම් දෙන්නා යැයිද මෙයට අර්ථ වශයෙන් කිව හැකිය. සමහර අවස්ථාවල මෙවැන්නන්ට රසූල් යන අරාබි පදයද උපයෝගී වේ. අල්ලාහ්ගේ පණිවුඩ සමඟ ජනයා හමුවට යවනු ලැබූ දූතයා යන්න රසූල් යන අරාබි පදයෙහි අර්ථය යැයිද කිව හැකිය. මුහම්මද් (සල්), ජේසු (අලෛ), ඉබ්‍රාහීම් (ඒබ්‍රහම්) (අලෛ) යන අය හා තවත් අය මෙම ඝණයට ඇතුලත් වෙති.

9.එලොව – අල්ලාහ් දවසක මෙම ලොව විනාශ කර දමන්නේය යි කුර්ආනය පවසයි. ඉන්පසුව ඔහු වෙනත් ආකාරයක ලොවක් ඇතිකරන්නේය. මෙහිදී සියලුම මිනිස්සු නැවත පණ දී නැගිට්ටවනු ලබන්නෝය. ඉන්පසුව එහිදී මිනිසුන් ලොවේ ක්‍රියා කළ ආකාරය ගැන ප්‍රශ්න විමසීමකට ලක්වීමෙන් අනතුරුව විනිශ්චය දීමක් සිදු කෙරේ. අප ජීවත් වන ලොව විනාශයට පත්වීමේ අවස්ථාව, නැවත වෙනත් ලොවක් ඇතිවීමේ අවස්ථාව, මිනිසුන් නැවත වතාවක් පණ දී නැගිට්ටවනු ලබන අවස්ථාව, විනිශ්චය ලබා දී ස්වර්ගයට හෝ නිරයට ඇතුළු කිරීමේ යන අවස්ථා ‘එලොව’ යන්නට ඇතුලත් වේ. සමහර පරිවර්තනවල එලොව යන වචනය වෙනුවට පරලොව යැයිද යොදා ඇත. එසේ වුවද සිදුවන මෙම ක්‍රියාවලි මුල් කරගෙන මෙම එලොව යන්න, එලෝ දිනය, අවසාන දිනය, විනිශ්චය දිනය යනාදී විවිධ නම්වලින් හැඳින්වේ. මෙම දිනයේදී ඉමහත් සිදුවීම් සිදුවන බැවින් මෙයට ඉමහත් දිනය යැයිද පවසනු ලැබේ.

10.ස්වාමියා – කුර්ආනයේ බොහෝ ස්ථානවල ‘රබ්’ යන අරාබි වචනය ‘අල්ලාහ්’ යන්න වෙනුවට යොදා ඇත. සියල්ල මවා, පෝෂණය කර, ආරක්ෂාව සපයා, පරිපාලනය කරන්නාය යන අර්ථය ‘රබ්’ යන අරාබි වචනයෙන්, විදහා දැක්වේ. මෙම රබ් යන වචනයට ඉතාම කිට්ටු සිංහල වචනය ලෙස, ස්වාමියා යන වචනය මෙහිදී යොදා ඇත.

11.ජයාග්‍රාහකයෝ – ඉස්ලාමයේ ඉගැන්වීම්වලට අනුව මිනිසාගේ ජීවිතය පිරික්සීමක් වේ. එනම් අල්ලාහ්ව විශ්වාස කර, අල්ලාහ්ට බිය වී යහකම් කරමින් ජීවත්වන්නා කවරෙක්ද? යන්න මිනිසාට ඇති පරීක්ෂාව වේ. මෙම පරීක්ෂාවෙන් ජය ලැබූ අය ජයාග්‍රාහකයින් වෙති.

12.ප්‍රතික්ෂේප කිරීම – අල්ලාහ් කුර්ආනය සත්‍යය මතම පහළ කර ඇත්තේය. එහෙයින් කවරෙක් හෝ කුර්ආනය සත්‍යයක් යැයි පිළිනොගනියි නම්, නැත්නම් කුර්ආනයේ පවසා ඇති යම් කරුණක් පිළිනොගනියි නම් එම ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කිරීම යන ඝණයට ඇතුලත් වේ. එමෙන්ම ප්‍රතික්ෂේප කිරීම යන්න විශ්වාස කිරීම යන්නට හාත්පසින් විරුද්ධ කාර්යයක් වේ. එනම් ප්‍රතික්ෂේප කිරීමට විශ්වාස නොකිරීම යැයිද පැවසිය හැක.

13.මුවින් පමණක් විශ්වාස කිරීම – අදෘශ්‍යමාන දේ විශ්වාස කිරීම මුස්ලිම්වරයෙක් කළ යුතු අනිවාර්ය ක්‍රියාවකි. මෙහිදී ඔහු පළමුව එය තමාගේ මුවින් ප්‍රකාශ කළ යුතුය. ඉන් පසුව ඔහු එය ක්‍රියාවෙන් පෙන්නුම් කළ යුතුය. උදාහරණයක් වශයෙන් අල්ලාහ්ව විශ්වාස කළ කෙනෙක් අල්ලාහ්ට අවනත විය යුතුය. ඔහු යම් ක්‍රියාවක අල්ලාහ්ට අවනත බව පෙන්වීම ප්‍රතික්ෂේප කරයි නම්, ඔහුගේ විශ්වාසය ඔහුට ඵලක් නොවන්නේය. මෙහිදී ඔහු මුවින් පමණක් විශ්වාස කළ කෙනෙකු වන්නේය.

14.අල්ලාහ් ඔවුනට රෝගය අධික කළේය යන්නෙහි අර්ථය කුමක්ද? – මෙලොවේදී මිනිසෙක් ලැබිය හැකි වඩාත් වැදගත්ම භාග්‍යය, යහ මඟ ලැබීමම වේ. එනම් සත්‍ය මාර්ගය කුමක්ද යන්න වටහාගෙන එහි ගමන් කිරීම වේ. අල්ලාහ් මෙම විෂයේදී මිනිසාට නිදහසක් ලබාදී ඇත්තේය. එනම් මිනිසාට රිසි පරිදි තීරණයක් ගැනීමේ අවස්ථාවක් ඇති කර ඇත්තේය. නමුත් මිනිස් වර්ගයාට සත්‍යය කුමක්දැ? යි දැන්වීම අල්ලාහ් තමා කෙරෙහි වගකීමක් කරගත්තේය. එම නිසාම අල්ලාහ් කලින් කලට වේදක පහළ කළේය.

එමෙන්ම ජනයාට සත්‍යය පැහැදිලි කරදීමද අල්ලාහ් තමා කෙරෙහි වගකීමක් කරගත්තේය. මෙම කාර්යය වෙනුවෙන් අල්ලාහ් සෑම සමාජයකින්ම දූතයින්ව තෝරා ගත්තේය. ලොව කිසිදු ක්‍රියාවක් අල්ලාහ්ගේ අනුමැතිය නොමැතිව සිදු නොවේ. කෙනෙක් යහ මඟ ලබාගැනීමද අල්ලාහ්ගේ අනුමැතිය අනුවම සිදු වේ. අකැමැත්තෙන් සිටින කෙනෙකුව අල්ලාහ් බලයෙන් යහ ම‍ඟෙහි නොයවන්නේය. එමෙන්ම යහ මඟෙහි යෑමට කැමැත්තෙන් සිටින කෙනෙකුව වළක්වන්නේද නැත. යහ මඟ ලබාගැනීමේ විෂයෙහි අල්ලාහ් මිනිසාගේ උත්සාහය ගැන අවධානය යොමු කරයි. යහ මඟෙහි යෑමට උත්සාහ කරන්නාට, අල්ලාහ් උපකාර කරන්නේය. එවිට එම මිනිසා වැරදි මාර්ගවලින් මිදී යහ මඟෙහි කරයි.

එමෙන්ම සත්‍යය අවබෝධ කර දුන් පසු කෙනෙක් එය ඉවතලීම්  කරයි නම්, නැත්නම් ප්‍රතික්ෂේප කරයි නම්, අල්ලාහ් එම මිනිසාට යහ මඟ ලබාගැනීමේ විෂයෙහි උපකාර නොකර ඔහුගෙන් ඈත් වන්නේය. මේ හේතුවෙන් එම මිනිසා සදා කල් අන්ධකාරයෙහිම එනම් වැරදි මාර්ගවලම ගමන් කරමින් සිටින්නේය. එනම් ඔහු මං මුළාවූවන් අතර වූවෙකු වන්නේය. සත්‍යය කුමක්දැ?යි දැනගැනීම පිණිස ප්‍රමාණවත් සාක්ෂි අල්ලාහ් කුර්ආනයෙහි පෙන්වා ඇත්තේය. මේ හේතුව නිසාම කුර්ආනයේ වැකිවලට ‘සාක්ෂි’ යන අර්ථයක්ද ඇත. මෙම සාක්ෂීන් නැත්නම් කුර්ආන් වැකි කෙනෙකුට පවසනු ලැබීමෙන් පසුව ඔහු තවදුරටත් එම වැකි ගැන සැක කරයි නම් අල්ලාහ් එවැන්නන්ව යහ මඟෙහි නොයවා ඔහුට රිසි පරිදි යෑමට ඔහුව හැර දමන්නේය. මෙම හේතුවෙන් එම මිනිසාට සත්‍යය ගැන වූ සැකය දිනෙන් දින වැඩි වන්නේය. මෙම තත්වය, අල්ලාහ් ඔවුනට රෝගය අධික කළේය යන වැකියෙන් පවසයි.

15.කුහකයෝ – ඉස්ලාමයේ කුහකයින් යැයි කොටසක් ඇත. මොවුහුද ඉස්ලාමයට ඇතුළු වූ අය වෙති. මොවුහු අදෘශ්‍යමාන දේ විශ්වාස කළ බව මුවින් පමණක් පවසති. නමුත් ඒ බව තමන්ගේ ක්‍රියාවලින් නොපෙන්වති. උදාහරණයක් වශයෙන් නබිවරයාව විශ්වාස කළ බව පවසති. නමුත් නබිවරයාට අවනත නොවෙති. කෙනෙක් ඉස්ලාමයට ඇතුළු වූ පසු නබිවරයාට අවනත වීම ඔහු කෙරෙහි අනිවාර්ය වගකීමක් වේ. මේ හේතුව නිසාම කෙනෙක් නබිවරයාව විශ්වාස කිරීමට පෙර නබිවරයා හා තමා අතර සම්බන්ධය කුමක්දැ? යි දැනගැනීම වැදගත් කාර්යයක් වේ. කුහකයින්ගේ ගුණාංග කුර්ආනයේ විවිධ තැන්වල දක්නට ඇත. 2:13, 2:14 යන වැකි දෙකද කුහකයින්ගේ ගුණාංග පවසන වැකි දෙකකි. ඉස්ලාමයේ ඉගැන්වීම්වලට අනුව වැරදි කළ මිනිසුන් අතරින් කුහකයෝම වඩාත් දැඩි දඞුවමට ලක්වන්නෝය. එයට හේතුව ඔවුන්ගෙන් ඉස්ලාමයට වන හානිය වඩාත් අධිකය.

16.නැමදුම – කුසල් අපේක්ෂා කර මිනිසා කරන්නා වූ සියලුම කාර්යයන් නැමදුම යන ඝණයට ඇතුළුවන්නේය. තමාට පමණක් නැමදුම් කළ යුතුය යන තත්වය මතම මිනිස් වර්ගයාව මැවූ බව අල්ලාහ් කුර්ආනයෙහි පවසයි. දණින් වැටී තම පහත් භාවය පෙන්වීමද නැමදුමක් වේ. මෙයට අරාබියෙන් සුජූද් යැයි පවසනු ලැබේ.

17.අල්ලාහ්ට සමවන්නන් – ගුණාංගවලින් හා හැකියාවන්ගෙන් අල්ලාහ්ට සමවන්නෙක් ලොව කිසිවෙකු නොමැත. නමුත් මිනිසුන්ගෙන් සමහරු අල්ලාහ් ගැන නොදත් හේතුවෙන් හා දැනගත් පසු පිළිගැනීමට ඇති අකැමැත්ත හේතුවෙන් අල්ලාහ්ට පමණක් ආවේනික ගුණාංග හා හැකියාවන් වෙනත් දේවලට ලබාදීම මගින් අල්ලාහ් නොවන්නන්ව අල්ලාහ්ට සම කරති. මෙසේ ක්‍රියා කිරීම අල්ලාහ් නොවන්නන්ට නැමදුම් කිරීම යන ක්‍රියාවට ඇතුලත් වේ. මෙසේ මිනිසුන්ගේ නැමදුම් ලබන අල්ලාහ් නොවන්නන්ට සමවූවන් යැයි කුර්ආනය කෙටියෙන් පවසයි.

මෙසේ කරන්නන්ට සදාකාලිකව නිරයේ සිටීමට සිදුවන බව අල්ලාහ් කුර්ආනයෙහි පවසයි. මේ හේතුව නිසාම තමාට පමණක් නැමදුම් කරන මෙන් හා අන් අයට නැමදුම් කිරීමෙන් වැළකී සිටින මෙන් අල්ලාහ් මුළු මිනිස් වර්ගයාටම දන්වා සිටියි. අදෘශ්‍යමානව සවන්දීමේ හැකියාව, අදෘශ්‍යමානව බැලීමේ හැකියාව, අදෘශ්‍යමානව උපකාර කිරීමේ හැකියාව , අදෘශ්‍යමානව ආරක්ෂාව සැලසීමේ හැකියාව අන් කිසිවෙකුට නොව තමාට පමණක් ඇති හැකියාවන් බව අල්ලාහ් කුර්ආනයෙහි පවසයි.

මිනිසාව මැව්වේ තමා බව අල්ලාහ් කුර්ආනයෙහි පැහැදිලිව පවසයි. එමෙන්ම මිනිසාට අවශ්‍ය ජීවත්වීමේ පරිසරය සකසා දුන්නේද තමා බව අල්ලාහ් කුර්ආනයෙහි පවසයි. මිනිසාට අවශ්‍ය ආහාර ලබාදෙන්නේද තමා බව අල්ලාහ් කුර්ආනයෙහි පවසයි. එමෙන්ම මිනිසාට අවශ්‍ය ආරක්ෂාව සලසා ඇත්තේද තමා බව අල්ලාහ් පවසයි. එමෙන්ම මිනිසාව පාලනය කරන්නේද තමා බවද අල්ලාහ් පවසයි. එනම්, මිනිසාව මවා, පෝෂණය කර, ආරක්ෂාව සලසා, පාලනය කරන්නේ අල්ලාහ්ය. මේ හේතු මත අල්ලාහ් මිනිස් වර්ගයාගේ ස්වාමියා වේ. ඉහත පැවසූ කාරණාවලින් එකක් හෝ සියල්ල හෝ කළ හෝ කරන වෙන කෙනෙක් නොමැත. එහෙයින් මිනිසාගේ සත්‍ය ස්වාමියා අල්ලාහ්ම වේ. එහෙයින් කෙනෙක් අල්ලාහ් නොවන්නෙකුව තම ස්වාමියා ලෙස පිළිගනියි නම්, ඔහු තව කෙනෙකුව අල්ලාහ්ට සම කිරීමක් කළ කෙනෙකු වන්නේය. මෙම සම කිරීම නැමති භයානක පව කරන්නන්ව සදාකල් නිරයේ දමා වධ වේදනා කරන බව අල්ලාහ් කුර්ආනයෙහි අවවාද කරයි.

එමෙන්ම අල්ලාහ් මිනිසාගේ සත්‍ය ස්වාමියා වන හෙයින් මිනිසා නැමදිය යුත්තේද තමාට පමණක්ම බව අල්ලාහ් කුර්ආනයෙහි පවසයි. අල්ලාහ් නොවන්නන්ට හෝ අල්ලාහ් නොවන දේවලට නැමදුම් කිරීම මගින් එවැනි දේ අල්ලාහ්ට සම කිරීමක් සිදු වන බවද කුර්ආනය පැහැදිලිවම පවසයි. එහෙයින් නැමදුමට සුදුස්සා අල්ලාහ්ය යන්නම ඉස්ලාමයේ මූලික උපදේශය මෙන්ම වැදගත්ම විෂයය වේ.

18.කුර්ආනයේ 2:18 වන වැකියෙන් පවසනුයේ කුමක්ද? – ඔවුන් සත්‍යය නොපවසන හෙයින් ඔවුන් ගොළුවන් යැයිද, ඔවුන් සත්‍යයට සවන් නොදෙන හෙයින් ඔවුන් බිහිරන් යැයිද, ඔවුන් සත්‍යය නොබලන හෙයින් ඔවුන් අන්ධයින් යැයිද මෙම වැකිය පවසයි.

19.ගැත්තා – කුර්ආනයේ ඇති සමහර වැකි මුහම්මද් (සල්) තුමාව ගැත්තා යැයි සඳහන් කරයි. මුහම්මද් (සල්) තුමා ශාරීරික වශයෙන් මනුෂ්‍යයකි. දැනුම පැත්තෙන් එතුමා අවසාන සමාජය වූ මෙම සමාජයට පැමිණි දූතයෙකි. නමුත් එතුමාව දේවත්වයට උසස් කිරීමක් නොකළයුතු බව ඉස්ලාමය තරයේම පවසයි. එහෙයින් එතුමා අනෙක් මිනිසුන් මෙන් අල්ලාහ්ගේ ගැත්තෙකු බව මෙම වැකිය පවසයි. කුර්ආනයේ සමහර වැකි මුස්ලිම්වරුන්ව පමණක් ගැත්තන් යැයි පවසයි. තවත් සමහර වැකි සියලුම මිනිසුන්ව අල්ලාහ්ගේ ගැත්තන් යැයි පවසයි. මෙම වෙනස වැකිය කියවීමෙන් වටහාගත හැකිය.

20.සැකයෙන් සිටින්නේ නම් යන්නෙහි අදහස කුමක්ද? – කුර්ආනය මිනිස් කෘතියක් නොවේ. කුර්ආනය අල්ලාහ් නම් දෙවියා විසින් මුහම්මද් (සල්) තුමාට පහළ කරනු ලැබූ වේදකයක් වේ. මෙය වැකි වශයෙන් අවුරුදු 23 ක කාලයක් පුරා පහළ විය. එනම් කුර්ආනයේ ඇති සියලුම වැකි අල්ලාහ් විසින් පහළ කළා වූ වැකි වේ. නමුත් මෙය අනෙක් ආගමික ග්‍රන්ථ මෙන් මිනිසෙකු විසින් හෝ මිනිස් කණ්ඩායමක් විසින් ලියල ලද ග්‍රන්ථයක් යැයි සමහරු පවසති. එනම් සමහරු කුර්ආනය අල්ලාහ්ගෙන් පහළ වූ වේදකයක් ලෙස පිළිනොගනිති. එනම් කුර්ආනය අල්ලාහ්ගේ වේදකයක් යන විෂයෙහි සමහරු සැකයෙන් පසුවෙති. යම් කෘතියක් ගත් කල, එහි අඩංගු කරුණුවලින් එම කෘතිය ලියූ කෙනාගේ දැනුම අනුමානය කළ හැකිය. කුර්ආනය අල්ලාහ්ගෙන් පහළ වූ වේදකයක් බැවින් එහි අල්ලාහ්ගේ දැනුම විදහා පෙන්වන කරුණු අඩංගු විය යුතුය. එනම් කුර්ආනය අල්ලාහ්ගෙන් පහළවූවක් නම්, මිනිස් වර්ගයාගේ දැනුමට වඩා ඉතාම උසස් අන්දමේ කරුණු මෙම කුර්ආනයෙහි අන්තර්ගත විය යුතුය. ඇත්ත වශයෙන්ම කුර්ආනය එවැනි තත්වයක පවතින වේදකයකි.

කුර්ආනය මෙම විශ්වය ඇතුළු සියලුම ජීවීන්ගේ ආරම්භය ගැන පවසයි. එමෙන්ම මෙම විශ්වයේ අවසානය ගැනද පවසයි. තවද මිනිසාගේ මරණින් පසුව සිදුවන දේ ගැනද පවසයි. එමෙන්ම මුළු ලොවම පාලනය කරන්නෙක් සිටින බවද පවසයි. මෙම කුර්ආනය පහළ වූයේ වසර 1400 කට පමණ පෙරය. එහෙයින් එදා පැවති දැනුමට අනුව කුර්ආනය පවසන්නා වූ ඉහත කාරණාවන් ගැන අල්ලාහ් විසින් පවසනු ලැබූ දැනුමට සමාන තත්වයේ මිනිස් කෘතියක් ගෙන එන ලෙසට කුර්ආනය ප්‍රතික්ෂේප කරන්නන් සියල්ලන්ටම අල්ලාහ් මෙම වැකියෙන් අභියෝගයක් ඉදිරිපත් කරයි. එනම් කුර්ආනය අල්ලාහ්ගෙන් පහළවූවක් යැයි පිළිනොගෙන එම විෂයෙහි සැකයෙහි සිටින්නන්ට අල්ලාහ් මෙම අභියෝගය ඉදිරිපත් කරයි.

21.නිරය යනු කුමක්ද? – ඉස්ලාමීය ඉගැන්වීම්වලට අනුව මෙම ලොව දවසක විනාශයට පත් කරනු ලබන්නේය. ඉන් පසුව අල්ලාහ් වෙනත් ආකාරයක ලොවක් ඇති කරන්නේය. එහිදී ලොවේ ජීවත් වූ සියලුම මිනිස්සු නැවත පණ දී නැගිට්ටවනු ලබන්නෝය. මිනිසා ලොවේ කළ ක්‍රියාකාරකම් ගැන විභාග කිරීමක් එහිදී සිදු කෙරේ. අල්ලාහ්ව විශ්වාස කර යහකම් කළ කෙනා ස්වර්ගයට ඇතුළු කරනු ලබන්නේය. අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළ කෙනා හා අල්ලාහ්ව විශ්වාස කර සිටි තත්වයෙහි මහා පාප කාර්යයන්වල යෙදුන මිනිසා නිරයට ඇතුළු කරනු ලබන්නේය. නිරය යනු ගින්න මොළවනු ලැබූ ඉතාමත් ගැඹුරු මෙන්ම අධික උෂ්ණත්වයෙන් යුත් විශාල අගාධයකි .

22.ස්වර්ගය – අල්ලාහ්ව විශ්වාස කළ කෙනා ස්වර්ගයට ඇතුළු කරනු ලබන්නේය. මෙම ස්වර්ගය අප ජීවත් වන්නා වූ මෙම ලොවට වඩා බෙහෙවින්ම වෙනස් හා අති උසස්ය. කෙනෙක් මෙයට ඇතුළු වූ කල ඔහුගේ ජීවිතයද වෙනස් ආකාරයක මෙන්ම උසස් තත්වයක පවතින්නේය. ස්වර්ගයට ඇතුළු වූ කෙනෙකුට නැවත වතාවක් මරණය යන්නක් ඇති නොවේ. එමෙන්ම මහළුවීම යන්නක්ද නොමැත. එහි සිටින සියලුදෙනාම තරුණ බවෙන් පසුවන්නෝය. විශ්වාස කළවුන්ට ලස්සන ඇස්වලින් යුත් යුවතින්ව විවාහ කරදීමක් මෙහි සිදු කෙරේ. මේ ආදී වශයෙන් ස්වර්ගය ගැන විස්තර කිරීමක් කුර්ආනයේ සෑම තැනකම පාහේ දක්නට ඇත.

23.මං මුළාව – කෙනෙක් කවර ආකාරයෙන් ජීවත් විය යුතුද? යන්න ගැන අල්ලාහ් කුර්ආනයෙහි පවසා ඇත. අල්ලාහ්ව විශ්වාස කර, යහකම් කර ජීවත් විය යුතුය යි එයට කෙටියෙන් පැවසිය හැකිය. අල්ලාහ්ව විශ්වාස කර, යහකම් කිරීමේ මාර්ගය යහ මඟ වේ. මෙම යහ මඟට පටහැනි මාර්ග සියල්ල මං මුළාවීමක් බව අල්ලාහ් කුර්ආනයෙහි පවසයි. ඉස්ලාම් නොවන අනෙක් මඟ පෙන්වීම්වලට නොමඟ යැයිද කුර්ආනය පවසයි. ඉස්ලාම්යට පටහැනි මාර්ගවල සිටින්නන්ට අපරාධකරුවන් යැයිද කුර්ආනය පවසයි.

24.දේව දූතයින් – දේව දූතයින් යැයි පවසනු ලබන ජීවීන් වර්ගයක්ද අල්ලාහ් විසින් මවනු ලැබ සිටින බව කුර්ආනය පවසයි. දේව දූතයින් යන්න මලාඉකාවරුන් යන අරාබි වචනය වෙනුවට යොදා ඇත. එසේම දේව දූතයා යන්න මලක්වරයා යන්න වෙනුවට යොදා ඇත. මලාඉකාවරුන් අපගේ ඇස්වලට නොපෙනේ. මලාඉකාවරු කිසි විටෙක අල්ලාහ්ගේ අණයට වෙනස්කමක් නොකරන්නෝය. මලාඉකාවරුන් යැයි කොටසක් සිටින බවද මුස්ලිම්වරයා සැකයෙන් තොරව විශ්වාස කළ යුතුය. මලාඉකාවරුද අල්ලාහ්ගේ පිරිසිදු මෙන්ම ගෞරවනීය ගැත්තන් වෙති.

25.ජින්, ෂෛතාන්, ඉබ්ලීස් – අල්ලාහ් විසින් මවනු ලැබූ ජීවීන් අතරින් ජින් යනුවෙන්ද ජීවී වර්ගයකි. මිනිසුන් අතර සිටින්නා සේ ජින් වර්ගයා අතරද අල්ලාහ්ව පිළිගත් හා නොපිළිගත් දෙකොටසක් ඇත. අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළ ජින්වරුන්ට ෂෛතාන් යන නම උපයෝගී කෙරේ. ඉබ්ලීස් යන්නා ජින් සමූහයට නායකයා වේ.

26.ආදම් – මිනිස් වර්ගයාගේ පළමු මිනිසාගේ නම ආදම් වේ.

27.සකාතය – ඉස්ලාමයේ අනිවාර්ය වගකීම් 5 ක් ඇත. ධනවතා වසරකට වතාවක් තමා හමුවෙහි ඇති ධනය ගණන් බලා එම ප්‍රමාණයෙන් 2.5% ක ප්‍රමාණයක් එය බෙදා දෙන කමිටුවකට භාර දිය යුතුය. මෙයට අරාබියෙන් සකාත් යැයි පවසනු ලැබේ. මෙම ක්‍රමය විදහා පෙන්වන සිංහල වචනයක් නොමැති බැවින් එයට සකාතය යැයි සඳහන් කර ඇත්තෙමු.

28.මර්යම් – මර්යම් යනු, මේරි මාතාවය. මෙතුමිය ජේසු තුමාගේ මාතාව වේ. මැයද අල්ලාහ්ට යටත් බව පෙන්වමින් ජීවත් වූ කාන්තාවකි.

29.ඊසා – ඊසා යනු, ජේසු තුමාය

30.ජිබ්රීල් – ජිබ්රීල් යනු ගේබ්‍රියල් යන දේව දූතයා ය. ජිබ්රීල් යන දේව දූතයාට රූහුල් කුද්ස් යැයිද අරාබියෙන් පවසනු ලැබේ. එහි අර්ථය, පිරිසිදු ආත්මාව යන්න වේ.

31.ක:බා – සවුදි අරාබියාවේ මක්කම නම් නගරයක් ඇත. මෙම නගරයේ මස්ජිදුල් හරාම් (හරම් පල්ලිය) යැයි පල්ලියක් ඇත. මෙයට බයිතුල් හරම් යැයිද අරාබියෙන් පවසනු ලැබේ. මෙම පල්ලිය තුළ සතරැස් ආකාරයට නිමවූ පෙට්ටියක හැඩයෙන් යුත් නිමවුමක් ඇත. මෙයට ක:බාව යැයි කියනු ලැබේ. මුස්ලිම්වරයෙක් ලොව කොතැනක සිටියද 7සලාතය ඉටු කරන කල, තමාගේ මුහුණ ක:බාව දෙසට හැරවිය යුතුය. මෙම නිමවුම පිරිමැදීමක් හෝ මෙම නිමවුමට නැමදුම් කිරීමක් හෝ නොකළ යුතුය. සලාතයේදී මුස්ලිම්වරයෙක් තම මුහුණ කවර දිශාවකට හැරවිය යුතුද යන්න පෙන්වීම සඳහා මෙම නිමවුම සාදා ඇත. මුස්ලිම්වරයෙක් ක:බාව වටා පැමිණීමද නැමදුමකි. මෙසේ ක:බාව වටා පැමිණීමට තවාෆ් යැයි පවසනු ලැබේ. මස්ජිදුල් හරාම් නැමති මෙම පල්ලියට පැරණි නිවෙස යැයිද පවසනු ලැබේ.

32.ඉස්ලාම් – ඉස්ලාම් යන්න අරාබි වචනයකි. අල්ලාහ්ට යටත් බව පෙන්වීමේ ක්‍රියා පිළිවෙත යන්න මෙහි අර්ථය වේ. ශාන්තිය, සමාදානය යන අරුත්ද මෙම වචනයට ඇත. මුස්ලිම් යන අරාබි වචනය ඉස්ලාම් යන වචනයෙන් සෑදී ඇත. එහෙයින් මුස්ලිම් යන්නෙහි අර්ථය, අල්ලාහ්ට පමණක් යටත් බවින් ක්‍රියා කරන්නා යැයි කිව හැකිය. අල්ලාහ් නොවන්නන්ටද යටත් බව පෙන්වන්නාට මුස්ලිම් යැයි කිව නොහැකිය.

33.හජ් – ඉස්ලාමයේ අනිවාර්ය වගකීම් 5 ක් ඇත. හජ් නැමදුමද ඉන් එකකි. මෙම නැමදුම කිරීමට ශක්තිය ඇත්තන්ට එම නැමදුම කිරීම අනිවාර්ය වගකීමක් වේ. අරෆා, මෂ්අරුල් හරාම් යන ස්ථාන හජ් යන නැමදුම හා සම්බන්ධ ස්ථාන දෙකකි. හජ් යන නැමදුම හා උම්රා යන නැමදුම් සඳහා අඳින ඇඳුමට ඉහ්රාම් යැයි පවසනු ලැබේ.

34.ඥානය – මුහම්මද් නබි (සල්) තුමාගේ ක්‍රියා කළාපයට කුර්ආනයේ සමහර වැකිවල ඥානය නැමති මෙම වචනය යොදා ඇත.

35.අල්ලාහ්ගේ වර්ණය – අල්ලාහ්ගේ වර්ණය යනු, අල්ලාහ්ගේ ධර්මය යැයි ඉස්ලාමීය විද්වතුන් පවසා ඇත.

36.අල්ලාහ්ට වඩා වර්ණය දීමෙහි වඩාත් ලස්සනවන්තයා කවුද? – අල්ලාහ්ට වඩා යහමඟ පෙන්වීමෙහි ලස්සනවන්තයා කවරෙක්ද? යන්න මෙහි අර්ථය වේ.

37.කුලිය/අමිශ්‍රව – අමිශ්‍රව යන්නෙහි භාෂාත්මක අර්ථය මිශ්‍රවීමක් නොමැතිව යන්න වුවද, ඉස්ලාමීය ඇසින් මෙය යම් විෂයයක් ගැන පැවසේ. කෙනෙක් යම් යහ කාර්යයක් කරන කල කවරෙකුගෙන් කුසල අපේක්ෂා කරන්නේද? යන්න වැදගත් කාරණාවක් වන්නේය. උදාහරණයක් වශයෙන් ගත් කල, කෙනෙක් 7සලාතය ඉටු කරයි යැයි සිතමු. මෙම 7සලාතය නැමති යහ කාර්යය ඉටු කිරීම තුළින් එය ඉටු කරන්නා යම් කුසලක් හෝ ජනයාගෙන් ප්‍රශංසාවක් අපේක්ෂා කරයි යැයි සිතමු. එහෙයින් මෙම කුසලයට නැත්නම් ජනප්‍රසාදයට සලාතයෙන් ලැබෙන කුලිය යැයි කියනු ලැබේ. කෙනෙක් යහ කාර්යයක් කිරීම තුළින් කුලිය ලෙස අල්ලාහ්ගෙන් කුසල පමණක් අපේක්ෂා කරයි නම්, ඔහු පවිත්‍ර චේතනාවෙන් යහ කාර්යයක් කළ කෙනෙකු වන්නේය. මෙහිදී ඔහුට අමිශ්‍රව ඉටු කළ කෙනෙකු යැයි කෙටියෙන් පැවසිය හැකිය. තවත් කෙනෙක් සලාතය ඉටු කිරීම තුළින් කුලිය ලෙස අල්ලාහ්ගෙන් කුසල් හා ජනයාගෙන් ප්‍රසාදයද අපේක්ෂා කරයි නම්, මොහු මිශ්‍ර චේතනාවක් ඇතිව සලාතය ඉටු කරන්නෙකු වේ. මිශ්‍රව ඉටු කරන්නෙක් යැයි මොහුට කෙටියෙන් කිව හැකිය. එහෙයින් අමිශ්‍රව ඉටු කිරීම යනු, යම් යහ කාර්යයක් කිරීමේදී එම කාර්යයට ලැබෙන කුලිය වන කුසල් අල්ලාහ්ගෙන් පමණක් අපේක්ෂා කිරීමක් වන්නේය.

කෙනෙක් යහ කාර්යයක් කිරීමේදී අල්ලාහ් නොවන්නන්ගෙන් යම් කුලියක් අපේක්ෂා කරයි නම්, ඔහුට මිශ්‍රව ඉටු කරන්නෙක් යැයි කෙටියෙන් කිව හැකිය. එහෙයින් මුස්ලිම්වරයෙක් යහ කාර්යයක් කරන කල, අල්ලාහ්ටම පමණක් එනම් අමිශ්‍රව ඉටු කරන්නෙකු විය යුතුය. එහෙයින් මෙම කරුණ චේතනාව මතම රඳා පවතින්නක් වන්නේය. එමෙන්ම චේතනාව යන්න සිත හා සම්බන්ධ කරුණක් වේ. එහෙයින් කෙනෙකුගේ චේතනාව සම්බන්ධව තවත් කෙනෙකුට කිසිවක් පැවසිය නොහැකිය. කෙනෙකුගේ චේතනාව ගැන වඩාත් හොඳින් දන්නේ අල්ලාහ් පමණක්මය. එම දැනුම අල්ලාහ්ට පමණක් ඇත්තේය. නමුත් කෙනෙක් තමාගේ චේතනාව විදහා පෙන්වන අයුරින් යම් යම් වදන් පවසයි නම්, එම කාර්යයේදී ඔහුගේ චේතනාව ගැන යමක් කීමට හැකිය. මිශ්‍රවීමක් නොමැති පවිත්‍ර චේතනාවට ඉහ්ලාස් යැයි අරාබියෙන් පවසනු ලැබේ. අල්ලාහ් වෙනුවෙන් කිරීම යැයි මෙයට කෙටියෙන් පැවසිය හැක. පව් කාර්යයන්හි යෙදුන කෙනෙකුට නිරය ලැබෙන්නේ නම්, ඔහුගේ කාර්යයන්වලට අයත් කුලිය නිරය යැයි පැවසිය හැකිය. මේ අන්දමින්ම කෙනෙක් විශ්වාස කර යහකම් කළේ නම් ඔහුට කුලිය වශයෙන් ස්වර්ගය ලැබෙන බවද කිව හැකිය.

38.උපයාගත් දේ – මිනිසා යම් යම් කාර්යයන් කර, කුසල් හෝ අකුසල් සොයාගනියි. එහෙයින් මිනිසා යම් යම් කාර්යයන් කර, කුසල් හෝ අකුසල් උපයාගැනීමක් සිදු කරන බව ඉස්ලාමය පවසයි.

39.කිබ්ලාව – මුස්ලිම්වරයෙක් 7සලාතය නැමති නැමදුම ඉටු කරන කල, ඔහුගේ මුහුණ හැරවිය යුතු දිශාවට කිබ්ලාව යැයි කියනු ලැබේ.

40.අල්ලාහ්ගේ මාර්ගයෙහි ඝාතනය කරනු ලැබූවන් – ඉස්ලාමය අනුමත කළ ආකාරයට යුද්ධයකට අඞගසනු ලැබ, එම යුද්ධයේදී විරුද්ධ සේනාව විසින් ඝාතනය කරනු ලැබූවන්ට, අල්ලාහ්ගේ මාර්ගයෙහි ඝාතනය කරනු ලැබූවන් යැයි පවසනු ලැබේ. මෙසේ ඝාතනය කරනු ලැබූවන්ට මළවුන් යැයි නොපවසන ලෙසට අල්ලාහ් 2:154 වන වැකියෙන් පවසයි. එවැන්නන් ජීවමානව සිටින බවක්ද එම වැකියෙන්ම පැවසේ. මෙසේ ඝාතනයට ලක්වූවන් අල්ලාහ් හමුවෙහි ජීවමානව සිටින බව අල්ලාහ් කුර්ආනයෙහි වෙනත් තැනක පවසයි. එම තත්වය මිනිසුන්ට නොවැටහෙන බවද මෙම වැකියෙන් වැඩිදුරටත් පවසයි.

41.අල්ලාහ්ගේ සංකේතයන්ය – ඉස්ලාමයේ උම්රා නම් නැමදුම් කාර්යයක් ඇත. මුස්ලිම්වරයෙක් උම්රා නැමති නැමදුම ඉටු කරන කල, සෆා, මර්වා නම් කඳු දෙක අතරද ගමන් කළ යුතුය. එහෙයින් කෙනෙක් උම්රාව ඉටු කරන කල, අල්ලාහ් ඇති කළ මාර්ගයට අනුව එය සිදු කළ යුතුය. එහෙයින් සෆා, මර්වා නම් කඳු දෙක අල්ලාහ් ඇති කළ මාර්ගයෙහි ඇති සංකේතයන් වේ. එයට අල්ලාහ්ගේ සංකේතයන් යැයි කෙටියෙන් පවසා ඇත.

42.පූණ්‍ය මාස – ඉස්ලාම‍යේ පූණ්‍ය මාස යැයි මාස සතරක් ඇත. මෙම මාසවල යුද්ධ (සටන්) කිරීම තහනම්ය. එසේ සටන් නොකර සිටීම එහි පූණ්‍ය භාවය ආරක්ෂා කිරීමක් යැයි ඉස්ලාමය පවසයි.

43.අල්ලාහ්ගේ මඟෙහි වියදම් කිරීම – ඉස්ලාමය පවසන ආකාරයට එනම් ලොව කිසිදු වටිනාකමක් අපේක්ෂා නොකර, එලොවේදී අල්ලාහ්ගෙන් ලැබෙන කුලිය පමණක් අපේක්ෂා කර යහ කාර්යයන්වල තම සම්පත් වියදම් කිරීම අල්ලාහ්ගේ මඟෙහි වියදම් කිරීම වේ.

44.හිජ්රත්/මුහාජිර්වරු – ඉස්ලාමීය පිළිවෙත් ක්‍රියාවට නැංවීමට බාධා ඇතිවන ස්ථානයක සිටින කෙනෙක් ඉස්ලාමීය පාලනයක් ඇති රටක නායකයෙක් ඇරයුම් කරන කල, තම රට හැර ඉස්ලාමීය රට දෙසට ගමන් කිරීම හිජ්රත් යන නමින් අරාබි බසින් හැඳින් වේ. මෙම හිජ්රත් නැමති ගමන මුස්ලිම්වරුන්ට අනිවාර්ය කාර්යයක් වේ. එ‍මෙන්ම මෙය වැදගත් යහ කාර්යයක් ලෙසද ඉස්ලාමය පවසයි. මෙම ගමනෙහි යෙදුන අයට මුහාජිර්වරුන් යැයි අරාබි බසින් පවසනු ලැබේ.

මෙසේ හිජ්රත් ගිය කෙනොට මුහාජිර් යැයි අරාබියෙන් පවසනු ලැබේ. මෙම මුහාජිර්වරුන්ට නැවතීමට ස්ථාන ලබාදී උපකාර කළ අයට අන්සාර්වරු යැයි අරාබියෙන් පවසනු ලැබේ.

45.ශුද්ධ සටන් – ඉස්ලාමීය රටක නායකයෙක් ඇරයුම් කරන කල, එම ඇරයුම පිළිගෙන ඉස්ලාමයට එරෙහිව කලහ කරන්නන්ට එරෙහිව යුද්ධ කිරීම නැත්නම් සටන් කිරීම ශුද්ධ සටන යනුවෙන් හැඳින් වේ. සමහර අවස්ථාවලදී මෙයට සටන යැයි කෙටියෙන් පවසා ඇත.

46.අල්ලාහ්ට ලස්සන අන්දමින් ණය දීම – ඉස්ලාමයේ ඉගැන්වීම්වලට අනුව පොලියට ණයක් දීම හෝ පොලියට ණයක් ගැනීම තහනම් ක්‍රියාවකි. කෙනෙක් තව කෙනෙකුට පොලියක් අය නොකරන අන්දමින් ණයක් දෙයි නම් එය ලස්සන ණය දීමක් වේ. කෙනෙක් තව කෙනෙකුට ලස්සන අන්දමින් ණයක් දීම අල්ලාහ්ට ණයක් දුන්නා හා සමානව ගණන් ගැනෙන බව මෙම වැකිය පවසයි.

47.අල්ලාහ්ව සුවිශුද්ධ කිරීම – මුස්ලිම්වරයෙක් අල්ලාහ්ගේ පවිත්‍රභාවය ආරක්ෂා වන අන්දමින් ක්‍රියා කළ යුතුය. නියමිත සමහර කාර්යයන්වලදී අල්ලාහ්ගේ ඒකීයත්වය ආරක්ෂා වන අන්දමින් ක්‍රියා කිරීමෙන් අල්ලාහ්ගේ පවිත්‍රතාවයට කිළිටක් ඇති නොවේ. අල්ලාහ්ම එකම නැමදීමට සුදුස්සා, අල්ලාහ්ම එකම ස්වාමියා, අල්ලාහ්ගේ නාමයන් ඔහුට පමණක් ගැලපේ. අල්ලාහ්ගේ ගුණාංග ඔහුට පමණක්ම ගැලපේ යන කාරණා සතරෙහි මුස්ලිම්වරයෙක් එහි ඒකීයත්වය ආරක්ෂා කළ යුතුය. උදාහරණයක් වශයෙන් ගත් කල, දණින් වැටී තමාගේ පහත් බව පෙන්වීම ඉස්ලාමීය ඇසින් නැමදුමක් වේ. නමුත් නැමදුමට සුදුස්සා අල්ලාහ් පමණක්මය. මුස්ලිම්වරයෙක් අල්ලාහ්ට නැමදුම් කරන අතර, තවත් රූපයකට හෝ පිළිරුවකට හෝ ගසකට හෝ අල්ලාහ් නොවන වෙනත් දෙයකට හෝ දණින් වැටී තම පහත් භාවය පෙන්වයි නම්, එම පුද්ගලයා අල්ලාහ්ට පමණක් නැමදුම් කරන පුද්ගලයෙකු නොවන අතරම ඔහු අල්ලාහ් නොවන්නන්ටද නැමදුම් කරන පුද්ගලයෙකු වේ. එනම් ඔහු අල්ලාහ්ව සුවිශුද්ධ කළ අයෙකු නොවන්නේය. ඔහු අල්ලාහ්ගේ පවිත්‍රතාවයෙහි කිළිටක් ඇති කළ කෙනෙකු වන්නේය. මෙවැනි අයට ඉස්ලාමය, මුෂ්රික් එනම් සම කිරීම් කරන්නා යැයි පවසයි.

48.අල් මසීහ් – අල් මසීහ් යන්න අරාබි වචනයකි. පිරිමදින්නා යන්න එහි අර්ථය වේ. ජේසු තුමා අල්ලාහ්ගේ අනුමැතිය මත පිරිමැදීම මගින් නොයෙක් හාස්කම් කර පෙන්වූයේය. පිරිමැදීම මගින් හාස්කම් කළ හෙයින් එතුමාට පිරිමදින්නා යන පට නාමයක්ද ඇති විය. ජේසු තුමා සුදු කබර රෝගියාව පිරිමැදූ කල එම රෝගය නැතිවී ඔහුට සුවය ලැබුනේය. එමෙන්ම එතුමා උපතින් අන්ධයාව පිරිමැදූ කල, ඔහුට පෙනීම් ලැබුනේය. මේ බව කුර්ආනයෙහි පැහැදිලිව පවසා ඇත. එනම් තමා දැනුම පැත්තෙන් අනෙක් මිනිසුන් මෙන් නොව දූතයෙකු බව සනාථ කර පෙන්වීම පිණිස අනෙක් අයට කළ නොහැකි මෙවැනි හාස්කම් එතුමා කර පෙන්වූයේය. එමෙන්ම හාස්කම් තමාගේ ස්වාමියා වූ අල්ලාහ්ගේ අනුමැතිය මතම සිදු කරන බවද එතුමා එකල විසූ ජනයාට පවසා සිටියේය. නමුත් පසුව පැමිණි ජනයා මෙය එතුමා සතු බලයක් යැයි පවසා එතුමා දෙවියෙක්, දෙවියාගේ පුතා යැයි පවසමින් එතුමාව දේවත්වයට ඔසවා තැබූ බවද කුර්ආනය පවසයි. මුහම්මද් (සල්) තුමා සේම ‍ජේසු තුමාද අල්ලාහ්ගේ ගැත්තෙක් මෙන්ම දූතයෙක් බව කුර්ආනය පැහැදිලිවම පවසයි.

49.බොරු කිරීම හා සැබෑ කිරීම – කුර්ආනයෙන් පැවසෙන සියල්ල සත්‍ය වේ. එහෙයින් කවරෙක් හෝ කුර්ආනයෙන් පවසනු ලබන කාරණා පිළිනොගනියි නම්, නැත්නම් ප්‍රතික්ෂේප කරයි නම්, නැත්නම් බොරුවක් යැයි පවසයි නම් එය කුර්ආනය බොරු කිරීමක් යැයි ගණන් ගනු ලැබේ. කවරෙක් හෝ එය සත්‍ය බව පිළිගෙන එය ක්‍රියාවෙන් පෙන්නුම් කරයි නම්, ඔහු සත්‍යය සැබෑ කළ කෙනෙකු වන්නේය. මෙසේ බොරු කරන්නන්ට බොරුකාරයින් යැයිද කුර්ආනය පවසයි.

50.බිලි දීම, බිලි සතා – ඉස්ලාම් ධර්මයෙහිද බිලිදීම යන්නක් ඇත. නමුත් ඉස්ලාමය පවසන බිලිදීම අනෙක් ආගම්වල බිලිදීමට සමාන නොවේ. මෙය වචනයෙන් සමාන වුවද ක්‍රියාවෙන් වෙනස් වේ. ඉස්ලාමයේ ඉගැන්වීම්වලට අනුව, අල්ලාහ් නම් දෙවියා සමහර සතුන්ව මිනිසාගේ ආහාර සඳහා මවා ඇත්තේය. මෙවැනි සතුන්ව යම් යම් ඉස්ලාමීය නැමදුම් කාර්යයන්වලදී බෙලි කපා මස් කළ යුතුය. ඉන් පසුව එම මස් දුප්පතුන්ට හා නෑයන්ට ආහාර පිණිස බෙදා දිය යුතුය. එමෙන්ම එය සිදුකළ පුද්ගලයාටද එම මස් ආහාරයට ගත හැකිය. ඉස්ලාමය සමහර සතුන්ව පමණක් බිලි දිය යුතු සතුන් යැයි පවසයි. එයට බිලිසතා යන වචනය උපයෝගී කර ඇත.

51.අන්ධයින්, බිහිරන්, ගොළුවන් – අල්ලාහ් පහළ කළ සත්‍යය එනම් කුර්ආනය නොබලන්නන්ට අන්ධයින් යැයිද, එයට සවන් නොදෙන්නන්ට බිහිරන් යැයිද මෙම වැකිය පවසයි. එමෙන්ම මෙම සත්‍යය ගැන කථා නොකරන්නන්ට ගොළුවන් යැයිද කුර්ආනයේ සමහර වැකි පවසයි.

52.ඉස්රායීල්ගේ දරුවන් – පෙර කල, ය:කූබ් (ජේකොබ්) නම් නබිවරයෙකු සිටියේය. මොහුට ඉස්රායීල් යැයිද තවත් නමක් විය. මොහුගෙන් ඇති වූ පරම්පරාවට ඉස්රායීල්ගේ දරුවන් යැයි කියනු ලැබේ. ඊසා (ජේසු තුමා) ද ඉස්රායීල්ගේ දරුවන් යැයි පවසන පරම්පරාවට අයත් කෙනෙකි.

53.ජනයාව එක්රැස් කරන දිනය – දවසක මිනිසුන් සියල්ලෝම අල්ලාහ් විසින් මරණයට පත් කරනු ලබන්නෝය. අනතුරුව ඔවුන්ව විභාග කිරීම පිණිස ඔවුහු නැවත පණ දී නැගිට්ටවනු ලබන්නෝය. එම දිනය සියල්ලන්වම එක්රැස් කරන දිනය වේ.

54.ආරක්ෂා කරනු ලැබූ ලේඛණය – ලොව සිදුවන්නා වූ සියලුම කාර්යයන්, එමෙන්ම ලොවෙහි ඇති දේ, මතුවට ඇතිවන දේ, මතුවට ඇතිවන්නා වූ දේ එමෙන්ම එක් එක් මිනිසා සම්බන්ධ සියලුම තොරතුරු අඩංගු ලේඛණයක් අල්ලාහ් හමුවෙහි ඇත. මෙහි කිසිවෙකුට වෙනස් කිරීමක් කළ නොහැකිය. එහෙයින් එයට ආරක්ෂා කරනු ලැබූ ලේඛණය යැයි පවසනු ලැබේ. අල්ලාහ්ට සියල්ල ගැනම ඉමහත් දැනුමක් ඇති හෙයින් කළින්ම මෙවැනි ලේඛණයක් සකස් කර තබාගැනීම දුෂ්කර කාර්යයක් නොවේ. මෙම ලේඛණයට පැහැදිලි ලේඛණය යැයිද පවසනු ලැබේ. එමෙන්ම මෙම ලේඛණයට සටහන් ලේඛණය යැයිද පවසනු ලැබේ. ලව්හුල් මහ්ෆූල් යැයි මෙයට අරාබියෙන් පවසනු ලැබේ.

55. 7:179 වන වැකියෙන් පවසනුයේ කුමක්ද? – අල්ලාහ් කෙනෙකුව මැවීමට පෙරම එම මිනිසා කවරාකායෙන් ජීවත් වන්නේද? යන්න ගැන නිවැරදිව දනියි. හේතුව අල්ලාහ්ට එම දැනුම ඇත්තේය. එනිසා මිනිසුන්ව මැවීමේදී මිනිසුන්ගෙන් වැඩි ප්‍රමාණයක් අයහකම් කිරීම හේතුවෙන් නිරයට ඇතුළුවන්නෝය යන කාරණාව දැනගෙනම අල්ලාහ් මෙම මිනිසුන්ව මවා ඇත්තේය. එහෙයින් මිනිසුන්ගෙන් වැඩි ප්‍රමායක් නිරයටම යැයි මම මවා ඇත්තෙමි යැයි අල්ලාහ් මෙය වෙනත් ආකාරයකින් කෙටියෙන් පවසයි.

56.ඔවුන්ගේ මිතුරා – මෙම වැකියෙහි ඔවුන්ගේ මිතුරා යන්න මුහම්මද් (සල්) නබිතුමා ය. එතුමා පැවසූ සත්‍යය නොපිළිගත් අය, එතුමා සිහි විකලෙන් දොඩන බවට චෝදනා කළහ.

57.පැහැදිලිව අවවාද කරන්නා – නබි මුහම්මද් (සල්) තුමා, තමාට අල්ලාහ් දැන්වූ පණිවුඩය පැහැදිලිව ජනයාට දන්වා සිටියේය. එය පිළිනොගන්නා අයට මරණින් මතුවට අල්ලාහ්ගෙන් දැඩි දඞුවම් ඇති බවද එතුමා පැහැදිලිවම ජනයාට අවවාද කර සිටියේය.

58.අයහපත් ක්‍රියා ‍මෙන්ම අයහපත් ක්‍රියා සියල්ලම අල්ලාහ්ගේ අනුමැතිය මතම සිදු වේ. – මුස්ලිම්වරයෙක් ප්‍රධාන විෂයයන් 6 ක් ගැන විශ්වාස කළ යුතුය. මෙසේ විශ්වාස කළ මුස්ලිම්වරයා එම විෂයයන් 6 ගැන මනා අවබෝධයෙන් සිටිය යුතුය. එමෙන්ම ඔහු එම විෂයයන් විශ්වාස කරන බවට තමා විසින් කරනු ලබන කාර්යයන්වලදී ක්‍රියාවෙන් පෙන්විය යුතුය.

 මෙම විෂයයන් අතරින් අවසාන විෂයය, මිනිසා විසින් කරන්නා වූ සියළුම කාර්යයන් අල්ලාහ්ගේ අනුමැතිය මතම සිදු වේ යැයි විශ්වාස කිරීම වේ. කෙනෙක් අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව ක්‍රියා කරන්නෙක් යැයි පැවසූ කල, ඔහු අල්ලාහ්ගේ බලයට හසු නොවන නිදහස්ව ක්‍රියා කරන්නෙක් යැයි කීමේ අවකාශයක් ඇත. එසේ නොව මිනිසා කවර අන්දමේ යහපත් මෙන්ම අයහපත් ක්‍රියාවක් කළත් එය අල්ලාහ්ගේ නිරීක්ෂණය යටතේම සිදු වේ යන්න සත්‍යයකි.

 විශේෂයෙන්ම කෙනෙක් අයහපත් ක්‍රියාවක් කරන කලද අල්ලාහ් නිරීක්ෂණය කරමින් සිටියි. අල්ලාහ් අදහස් කළේ නම් එම ක්‍රියාවෙන් ඔහුව වැළැක්විය හැකිය. කවරෙකුව වැළැක්විය යුතුද? කවරෙකුව නොවැළැක්විය යුතුද? යන කාරණාවේදීද අල්ලාහ් නිවැරදි තීරණයක් ගන්නේය.

 අල්ලාහ් මිනිසාගේ උදවුකරුවා යැයි කුර්ආනයේ සැම තැනකම වගේ පවසයි. අයහපත් ක්‍රියාවලින් මිනිසාව වැළැක්වීමද අල්ලාහ් මිනිසාට කරන්නා වූ මහත් උපකාරයකි. තමා එම උපකාරය අල්ලාහ්ගෙන් ලබාගැනීමේ තත්වයක සිටීදැ?යි සිතා බැලීම මිනිසා විසින් කළ යුතුම කාර්යයකි.

මිනිසා කරන්නා වූ අයහපත් ක්‍රියා අල්ලාහ්ගේ අනුමැතිය මත සිදුවුවද එම පවට මිනිසාම වග කිව යුතුවන්නේය. එයට හේතුව අල්ලාහ් තමා විසින් පහළ කළා වූ වේදකයේ පව් යන්න කුමණ විෂයයන් යන්නද එසේ කරන්නන්ට දඞුවම් කරන බවද පවසා තිබීම වේ. එහෙයින් සියල්ල අල්ලාහ්ගේ අනුමැතිය මතම සිදුවේ යැයි කියා පවක් කළ කෙනෙකුට එහි වගකීම අල්ලාහ් මත දැමිය නොහැක.

59.සුබාරංචි පවසන්නා – නබිවරුන් සියලුදෙනාම ජනයාට අවවාද කරන්නන් ලෙස හා සුබාරංචි පවසන්නන් ලෙසම ජනයා හමුවට යවනු ලැබූහ. එනම් අල්ලාහ්ව විශ්වාස කර, යහකම් කළ අයට මරණින් පසුව ස්වර්ගය ලැ‍බේ යන සුබාරංචිය මෙම නබිවරු ජනයාට පැවසූහ.

60.විශ්වාසය තබන්නෝය – ඉස්ලාමය අනුමත කරන යම් කාර්යයකදී තමාගේ උත්සාහය යොදා, එම කාර්යය අල්ලාහ් ඉටු කර දෙන්නේය යි විශ්වාසය තැබීම, අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබීම යැයි පවසනු ලැබේ. උදාහරණයක් වශයෙන් ගත් කල, කෙනෙක් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණයක් කළේය යි සිතමු. පළමුව මෙම ව්‍යාපාරය ඉස්ලාමය අනුමත කරන ව්‍යාපාරයක් විය යුතුය. ව්‍යාපාරයක් දියුණු කළ හැකි උත්සාහවල යෙදීමෙන් අනතුරුව එය දියුණු වෙන ව්‍යාපාරයක් ලෙස කර දෙන මෙන් අල්ලාහ්ගෙන් අයැද අල්ලාහ් එම අපේක්ෂාව ඉටු කර දෙන්නේය යි අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබීම යන ක්‍රියාවට අරාබියෙන් තවක්කුල් යැයි පවසනු ලැබේ. මෙය අනිවාර්යයෙන්ම සෑම මුස්ලිම්වරයෙක් සතුව තිබිය යුතු ලක්ෂණයක් බව ඉස්ලාමය පවසයි.

61.මස්ජිදුල් අක්සා – මෙය ජෙරුසලමෙහි පිහිටි පල්ලියෙකි.

62.මිහ්රාජ් ගමන – මුහම්මද් (සල්) තුමා එක්තරා රාත්‍රියක ජෙරුසලම පිහිටි මස්ජිදුල් අක්සා නැමති පල්ලියෙහි සිට එක්තරා විශේෂ වාහනයක් මගින් සිද්රතුල් මුන්තහා යන ගස පිහිටි තැන දක්වා කැඳවාගෙන යනු ලැබූහ. මෙම ගස අහස් සත පසු කර යාමෙන් ඔබ්බට පිහිටා ඇති බව කුර්ආනය පවසයි. මෙම ගමනට මිහ්රාජ් ගමන යැයි පවසනු ලැබේ.

63.මහර් – මුස්ලිම් පිරිමියෙක් මුස්ලිම් ස්ත්‍රියකව විවාහ කරගැනීමේදී එම ස්ත්‍රියට විවාහයට පෙර යම් දීමනාවක් අනිවාර්යයෙන්ම දිය යුතුමය. මෙය මුදලක් වශයෙන් හෝ ආභරණයක් වශයෙන් හෝ ආදී වශයෙන් දිය හැකිය. මෙම දීමනාවට මහර් යැයි අරාබියෙන් පවසනු ලැබේ.

65.අර්ෂය – අල්ලාහ් අර්ෂයෙහි සිටින බව කුර්ආනය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *